ඔය සිතේ මගේ ඉඩ තාමත් තියෙනවාද ?

හුස්ම වැටෙනවට ඉන්නවා නොවේද ජිවත්   වෙලා
නිදි නැති රෑ පුරා නුඹ ඉන්නවා මගේ ගතම   වෙලා
පාළුව තනිකම අඳුරේම රජයනවා අප සිතද  වෙලා
ඉන්නට බැරි උනේ ඇයි වෙනදා මෙන් අපේ වෙලා

උඳුවප් මහ නොවෙතත් තාමත් ගත සිතල     දැනෙනවද
දෙමලිචි රෑනේ පුංචි එකී තාමත් උඹ ගැන     සොයනවද
දෙපතුල වැසෙන්නට ඇඳගෙන පුරුද්දට එලියට යනවාද
ගත සීතලට වැඩියෙන් සිතේ පාළුව නුඹට     දැනෙනවද

මගේ බත් කට තාමත් පින්ගානෙම අද්දර කොණේ    තියෙනවද
බඩගිණි නොදැනුනත් වෙලාවට කන්නට අමතක නැහැ     නේද
අසනීපයකට බෙහෙතක් ගන්නට මං කියනකම් ඉන්නම   ඕනෑද
කළුගේ නොක්කඩුවට තාමත් මැඩම් නිවාඩු                 දෙනවාද

දෙවට දිගේ කහ මල් පිපිලා හිනැහෙනවා           නේද
රැල්ල ඇවිත් වෙරළට හැමදාමත් හාදු දෙනවා     නේද
ඔය මුවගේ සිනහව වෙන්නට තවමත් මට හැකි  නේද
එන පෝ දා නැකත් හොඳයි කිවා අමතක නැහැ  නේද

…අනුවා..20/02/2018….

Advertisements

මගේ ලොවේ ඉර හඳ….

ඉර පායා මගේ ලෝවේ හරි එළියයි
සඳ පායා මගේ සිතට හරි සිසිලයි
හිරු කිරණට මා ගත දැන් විඩා දැනෙයි
සිසිල ගෙනෙන්නට සඳ නෑ දැන් අමාවකයි

ඉර පායා ඇත දහවල මගේ සිත් අහසේ
තරු වට කර සඳ පායයි රෑ ඒ අහසේ
සඳ එළියෙන් මම සැනසෙමි රෑ අහසේ
ඉර පෑයු කළ සඳ කොයිදෝ මේ අහසේ

ජිවිතයට එළිය දෙන්නේ ඉර ගිරවියි
සිහින වලට පාට දෙන්නේ සඳ සාවියි
ඉර හඳ පායා එළිය වෙන්නේ මගේ ලෝවයි
ඉර හඳ පායන අහසේ මං අතර මගයි
෴අනුවා෴

සමාවෙයන් මට….

දහසක් බුදුන් බුදු වන හිමිදිරි උදෑසන
පිච්ච මල් සුවඳක් දැනේ දස දෙස හමා යන
ඇඟ මැලි කඩා ගුලි වුන මුත් පොරෝණෙට
උඹේ උණුහුම තරම් දෙයක් කොයිද මට…

විරසක වෙලා තව දවසක් ගෙවී ගියා
දවසක් මුත් කල්පයක් මෙන් දැනුණු නියා
වෙන මලකින් රොන් ගත්තේ මමම නිසා
ආවේ ළඟට සමාවෙයන් කියනු නියා….

අරුමැක්කේ මම දැක්කේ උඹේ නංගා
සිත අස්සේ මම සිටියේ ලොභ හංගා
නාඹර සිතේ තිබු ලොල විසිරුණු හංන්දා
සිරියහනේ වෙර බින්ඳේ ඇය හිංදා …..

කරකාරෙට ගිය දා නුඹ මගේ දෙවැනි මවයි
දුක සැප එකට විඳගත්තේ අපි එකකු නිසයි
යලි සංසාරයේ එකතු වන්නට මගේ පැතුම එයයි
දහස් වරක් සමාවෙයන් මම තවමත් උඹේම තමයි….
෴අනුවා෴